Sri Lanka Independence Day Google doodle

Probably the first doodle about Sri Lanka


 මා කුඩා කල මගේ පියාගෙන් අසා තිබුණේ පානදුරේ ආතර් වී. දියෙස්‌ මහතා හෙවත් කොස්‌ මාමා නිදහස්‌ දිනයෙහි කළු කොඩි එසවූ බවය. එයට හේතුව කුමක්‌දැයි මට නිශ්චිතව කිව නොහැකිය. කෙසේ වෙතත් 1948 පෙබරවාරි හතරවැනිදා අපට ලැබුණේ පූර්ණ නිදහසක්‌ නොවේ. එය කිසිසේත්ම ලේ බිඳක්‌වත් නොසෙලවා ලත් නිදහසක්‌ නොවීය. 1815 න් පසුව කාලපරිච්ඡේදය සැලකුව ද අපේ පළමු නිදහස්‌ සටන වීර කැප්පෙටිපොළ නිළමෙතුමාගේ නායකත්වයෙන් විය. ඉන් පසු ප්‍රධාන නිදහස්‌ සටනක්‌ වූයේ වීරපුරන්අප්පු, ගොංගාලෙගොඩ බණ්‌ඩා ආදීන්ගේ නායකත්වයෙන් 1848 දී සිදුවූ සටනය. මේ සටන්වලදී සෙළවුණු නොව ගලාගිය ලේ නිදහස සඳහා නොවේ යෑයි කිවහැක්‌කේ පෙත්සම්කාරයන්ට පමණය. එහෙත් දහනව වැනි සියවස අවසාන වන විට නිදහස්‌ සටන යටපත් වී ගියේය. ඉංගිරිසින් තම ආර්ථිකය හා ප්‍රභූ පාසල් ඔස්‌සේ බිහි කර අපට ලබාදුන් නායකයෝ නිදහස්‌ සටන ඉදිරියට ගෙන යැමට උත්සාහ කළ අනගාරික ධර්මපාලතුමා අයින් කර ලංකා කොංග්‍රසය ඔස්‌සේ පෙත්සම් ව්‍යාපාරය අරඹා තමන් ඉංගිරිසින්ටත් වඩා හොඳ ඉංගිරිසින් බවත් ඉතා සීමිත නිදහසක්‌ ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියෝය. ගබ්සා වූ ලාංකික ජාතියේ නායකයන් වූ මොවුහු මුල දී බර්ගර් වාර්ගිකයන් විසින් හා පසුව දෙමළ වෙල්ලායන් විසින් මෙහෙයවනු ලැබූහ. ඔවුන් සමග එකතු වූ ඕල්කට්‌ බෞද්ධයෝ අමද්‍යප ව්‍යාපාරය වැනි බෞද්ධ ව්‍යාපාර ඔස්‌සේ ධර්මපාලතුමා අයින් කර පෙත්සම් සටන තමන් අතට ගත්හ. 1817 ඇරඹුණු නිදහස්‌ සටන ධර්මපාලතුමාගෙන් පසු එසේ යටපත් වී ගියේය. 1948 දී අපට ලැබුණේ පෙත්සම්කරුවන්ට දුන් නිදහසකි. පෙත්සම්කරුවෝ එංගලන්තයේ රජු තම රජු ලෙස පිළිගත්හ. ඩොමීනියන් වර්ගයේ නිදහසකින් සෑහීමකට පත්වූහ. ඉන්දියාවට බියෙන් කටුනායක හා තිරිකුණාමල කඳවුරු ඉංගිරිසින්ට ම පැවරූහ. අප කලින් ද සඳහන් කර ඇති පරිදි මෙරට මාක්‌ස්‌වාදී ව්‍යාපාරය මේ නිදහස්‌ සටනේ පාද සටහනක්‌ පමණකි. 1948 සීමිත නිදහස ලැබෙන්නට පෙර ම කන්නන්ගර මහතා නිදහස්‌ අධ්‍යාපනය හඳුන්වා දී තිබිණි. එහෙත් එයින් එදා හෝ අද හෝ මෙරට නිදහසට සිදුවූ යහපතක්‌ නැත. එහෙත් ඇතැම් පුද්ගලයන්ට සමාජ හිණිමගේ විවිධ ක්‍රම යොදා ගනිමින් ඉහළට යැමට නම් එය උපකාරී වී ඇත. ධර්මපාලතුමාගේ නිදහස්‌ සටන යටපත් වූ නමුදු මියගියේ නැත. තිහේ දශකයේ භාෂා ප්‍රේමීන් අත නිදහස්‌ සටන අළු යට ගිනි පුපුරක්‌ මෙන් පැවතිණි. පනස්‌හයේදී මතු වූයේ ඒ සටනය.


ධර්මපාලතුමාගේ සටන පනස්‌ හයේදී මතුවූ බව පළමුවෙන් පෙන්වා දුන්නේ ගුණදාස අමරසේකර මහතා බව ගෞරව පූර්වකව සඳහන් කළ යුතුය. එහෙත් ඒ මහතා අර කසිකබල් අධ්‍යාපනයෙන් බිහිවූ තරුණයන්ගෙන් රටට වැඩක්‌ වේ යෑයි කීමෙන් ඒ මහතාට ද බටහිර අනුකාරක අධ්‍යාපනයෙන් වී ඇති හා වන විනාශය ගැන පැහැදිලි අවබෝධයක්‌ තිබී නැති බව පෙන්නුම් කරයි. ඒ කෙසේ වෙතත් පනස්‌ හය ඉදිරියට යැමට තරමක කලක්‌ ගතවන බව පැහැදිලිය. එයට හේතු ගණනාවක්‌ වෙයි. අප ජීවත් වන්නේ ඉතා විෂම පරිසරයකය. අවුරුදු පන්සියයකට වැඩි කලක්‌ ලෝක ආධිපත්‍යය දරන්නේ බටහිර ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ය. යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය ය. වෙන්වීම, වෙන්කිරීම, සමස්‌තය නොසැලකීම, පෞද්ගලිකත්වය ඉස්‌මතු කිරීම, ඉන්ද්‍රිය පිනවීමට මුල්තැන දීම, ස්‌වභාව ධර්මය මිනිසුන් වෙනුවෙන් මවා හෝ මැවී හෝ ඇතැයි හෝ සැලකීම ආදිය බටහිර ඊනියා දියුණුවට හේතුවූ ආකල්පය. අධිපරිභෝජනය බටහිර ජීවන රටාවේ මුල්ගලකි. බටහිර ඉහළම ප්‍රතිඵලය වූ ඇමරිකාව යනු කෘත්‍රිම රටකි. අපට ද අවශ්‍ය වී ඇත්තේ ඇමරිකාව මෙන් "දියුණුවක්‌" ලබාගැනීමටය. ඒ ඊනියා දියුණුව ගැන සිහින මැවීමට අපට කියා දෙන්නේ බටහිර අධ්‍යාපනය හා ජනමාධ්‍යය. බටහිර රටවල් කඩාවැටීම ඇරඹී ඇති නමුත් අප වැනි රටවල බොහෝ දෙනකුට ඒ බව නොවැටහෙයි. අප බොහෝ දෙනකුට බටහිර දියුණුවක්‌ පසුපස යැමට අධ්‍යාපනයෙන් හා ජනමාධ්‍යයෙන් දිරි දෙන බව සැබෑ නමුත් ඒ එසේ කිරීමට හැකිවී ඇත්තේ අපේ පෘථග්ජන ගතිය හේතු කොටගෙනය. ආශාව පසුපස හඹා යැම පෘථග්ජන ගතියකි. භාණ්‌ඩ රැස්‌ කිරීමෙන් මිදීම අද භික්‍ෂූන් වහන්සේට වුව ද අසීරු කරුණකි. අසීමිත අවශ්‍යතාවන් ඇති කිරීම බටහිර ආර්ථිකයේ අංගයකි. බටහිර දෙස බලා සිටින අපට අල්පේච්ඡතාව හුරු කිරීම තරමක අපහසු කටයුත්තකි. අද බොහෝ දෙනා ඉගෙන ගන්නේ දැනුම ලබාගැනීමට ඇති කැමැත්තට වඩා ධනය ලබාගැනීමට ඇති උනන්දුව නිසාය. බටහිර අධ්‍යාපනය ඒ වෙනුවෙන් ම සැකසුනක්‌ වෙයි. නිදහස්‌ අධ්‍යාපනයෙන් බිහි වූ අය කී දෙනෙක්‌ තම රැකියාව සැලකිල්ලෙන් කරත්ද? බොහෝ දෙනා දේශපාලනඥයන්ට දොස්‌ කීව ද නිලධාරීන් හා අනෙක්‌ අය රට ගැන, ජනතාව ගැන සැලකිල්ලක්‌ දක්‌වමින් සතයක්‌වත් වංචා නොකර තම රාජකාරි කටයුතු ඉටු කරත්ද?

එහෙත් ථෙරවාදී රටවල බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට එරෙහිව පරිසරය සමග සුහදව අල්පේaච්ඡතාවෙන් ජීවත්වීමට කැමති අය වෙනත් බොහෝ රටවලට වඩා සිටිති. මේ හේතුව නිසාම බටහිරයෝ ථෙරවාදී රටවල් හැකි නම් විනාශ කිරීමට කටයුතු කරති. විවිධ හේතු නිසා බටහිර ආර්ථිකයට එරෙහිව යැමට උත්සාහ කළ ථෙරවාදී රටවල් දෙකක්‌ වූයේ කම්පූචියාව හා මියන්මාරය ය. මේ රටවල් දෙකෙහිම ඒ ප්‍රවණතාව විනාශ කිරීමට බටහිරයෝ සමත් වූහ. පෘථග්ජන ගතිය හේතුකොටගෙන ඉන්ද්‍රිය පිනවන ආර්ථිකයකට ථෙරවාදී රටවල ද බහුතරයක්‌ තමන්ට නම්මා ගැනීම බටහිරයන්ට අපහසු කාර්යයක්‌ නොවේ. බටහිර රටවල් කඩාවැටීම මිනිසුන්ට ප්‍රත්‍යක්‍ෂ වූ විට මෙහි වෙනසක්‌ දැකිය හැකිවනු ඇත. එහෙත් තවමත් ප්‍රායෝගිකව ඒ බව දැන ගැනීමට ජනතාවට අවස්‌ථාව උදාවී නැත. අද ලංකාවේ ද බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට එරෙහි වූවෝ සිටිති. එහෙත් ඔවුන්ට තවමත් බහුතරය ප්‍රායෝගික වැඩසටහනකට නම්මා ගැනීමට නොහැකිවී ඇත. ඔවුන්ට බොහෝ විට හරහට ඇත්තේ අධ්‍යාපනය හා විශේෂයෙන්ම ඉලෙක්‌ට්‍රොනික ජනමාධ්‍ය ය. පනස්‌ හයේදී රටේ බහුතරයක්‌ ථෙරවාදී ආර්ථිකයට නම්මා ගැනීමට හැකිව තිබූ නමුත් මෙරට අනුකාරක අධ්‍යාපනයෙන් බිහිවූ ඊනියා උගතුන්ට ඒ සඳහා වැඩපිළිවෙළක්‌ නොවීය. අද ද ආණ්‌ඩුවට එවැනි ආර්ථික ප්‍රතිපත්තියක්‌ නැත. ප්‍රතිපත්තියක්‌ යනු ආශාවක්‌ පමණක්‌ නොවේ. එයට ආකල්ප, ප්‍රවාද, සංකල්ප, ක්‍රියා පිළිවෙත් ආදී කරුණු රාශියක්‌ අඩංගු වෙයි. අපට ආහාර අතින් ස්‌වයංපෝෂිතවීම අමාරු කරුණක්‌ නොවේ. එහෙත් එය ජනතාවට බරක්‌ නොවන අයුරින් ඔවුන්ගේ පෘථග්ජන වුවමනාවන් බැහැර නොකර කළ යුතුය. මේ සඳහා හොඳම උදාහරණය බණ්‌ඩාරනායක මහත්මියගේ ආණ්‌ඩුව ගෙන ගිය ආහාර ප්‍රතිපත්තිය ය. එය දීර්ඝකාලීනව රටට යහපතක්‌ ගෙන දිය යුතුව තිබුණත් කෙටිකාලීනව ජනතාවට බරක්‌ විය. පොල්පොට්‌ මෙන් නාගරිකයන් ගමට යෑවීමට බණ්‌ඩාරනායක මහත්මිය කටයුතු නොකළත් පාන් පෝලිම හා හාල් පොල්ල ජනතාවට බරක්‌ විය. ඡේ. ආර්. ජයවර්ධන මිනිසුන්ගේ පෘථග්ජන අපේක්‍ෂාවන් ප්‍රයෝජනයට ගනිමින් ඇට අටක්‌ දෙන බවට පොරොන්දු වී බලයට පැමිණ රටේ ආර්ථිකය පමණක්‌ නොව සංස්‌කෘතිය ද බටහිරයන්ට අවශ්‍ය ආකාරයට වෙනස්‌ කළේය.

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව බටහිර අපේක්‍ෂාවන්ට එරෙහිව යමින් දෙමළ ත්‍රස්‌තවාදය පැරදවීය. එහෙත් තවමත් දෙමළ ජාතිවාදය ක්‍රියාත්මක වෙයි. දෙමළ ජාතිවාදය සිංහල, බෞද්ධ සංස්‌කෘතියට එරෙහිව බටහිරයන් විශේෂයෙන් ඉංගිරිසින් විසින් ඇති කරන ලද්දකි. අපට දෙමළ ජාතිවාදය මෙන්ම බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ද ඒ සමග ඔවුන්ගේ ආර්ථිකය ද, දේශපාලනය ද, සංස්‌කෘතිය ද පැරදවීමට අවශ්‍ය වෙයි. බටහිරයන් බලනු ඇත්තේ විවිධ වසන්ත ඔස්‌සේ ආණ්‌ඩුව පලවා හැරීමටය. අපට බටහිරයන් පරදවමින් ආණ්‌ඩුව සිංහල බෞද්ධ පදනමක්‌ මත පිහිටවීමට අවශ්‍ය වෙයි. එයට එරෙහිව ඇත්තේ අපේ පෘථග්ජන අපේක්‍ෂා, කසිකබල් අධ්‍යාපනය හා ජඩමාධ්‍ය ය. උසස්‌ පෙළ ඉහළින් සමත්වන සිසුවකු හෝ සිසුවියක හෝ සිංහල පාරම්පරික වෙදකම තබා බටහිර ගණිතය හෝ භෞතික විද්‍යාව හෝ හැදැරීමට ඉදිරිපත් නොවන්නේ සමාජ අපේක්‍ෂාවන්ට යටවීම හේතු කොටගෙනය. අද සිංහල පාරම්පරික වෙදකම බටහිර වෙදකම හා ආයුර්වේදය හමුවේ නැතිවේගන යයි. මාතර නීති ශිෂ්‍යාවගේ අත තෙල් ටිකක්‌ ගා සුව කිරීමට හැකියාව තිබියදී කෝටි ගණනක්‌ වැය කර කෘත්‍රිම අතක්‌ බද්ධ කරන තැනකට ගෙනැවිත් ඇත්තේ බටහිර දැනුම විසින් අප බිය ගන්වා ඇති බැවිනි. තෙල් ගෑම විද්‍යාත්මක දැයි ප්‍රශ්න කරන්නන් ද අප අතර සිටිය හැකිය. විසි වැනි සියවසේ අපට වැරදුණු තැන් බොහොමයක්‌ වෙයි. අපේ උගත්තු එක්‌කෝ බටහිරට වන්දනාමාන කළහ. නැතහොත් ඉන්දියාව මව් රට ලෙස සැලකූහ. සිංහල සංගීතයක්‌ සිංහල වෙදකමක්‌ ඉන්දියාවේ පුහුණුවකින් ලබාගත නොහැකි බව තවමත් බොහෝදෙනාට නොතේරෙයි. සිංහල ගොවිකම ද බටහිර කෘෂි රසායනය පිහිටෙන් නගාසිටුවිය නොහැකිය. අඩුම තරමින් සිංහල වෙදකම සිංහල ගොවිතැන ගැන ඇති පුස්‌කොළ පොත්වල අඩංගු කරුණු පිටපත් කිරීමටවත් ආණ්‌ඩුව උත්සාහයක්‌ ගෙන නැත. සිංහල පාරම්පරික වෙදකම බටහිර වෙදකමට වඩා උසස්‌ බව මම අත්දැකීමෙන් දනිමි. බටහිර විද්‍යාව යනු පට්‌ටපල් බොරුවක්‌ බවත් එහි ඇත්තේ කතන්දර පමණක්‌ බවත් අවුරුදු පනහක අත්දැකීමෙන් හා අවුරුදු විසිපහක අධ්‍යයනයකින් මම දනිමි. දහතුන් වැනිදා, බටහිර විද්‍යාව, ආසනික්‌ හා දෙවියෝ පොත පිළිබඳව පැවැත්වෙන සම්මන්ත්‍රණයකදී මේ බව තවදුරටත් හෙළිදරව් වනු ඇත. අප අපේ දැනුම ගැන විශ්වාසය තැබිය යුතු අතර බටහිර දැනුමට බිය නොවිය යුතුය. ආණ්‌ඩුවට වෙදකමෙහි ජාතික ප්‍රතිපත්තියක්‌ නැතත් ගොවිකමෙහි දී ඒ දිශාවට ඇති නැඹුරුවක්‌ වෙයි. එය අගය කළ යුතුය. එය තව තවත් වර්ධනය වී කෘෂි රසායන නැති සිංහල ගොවිකමකට අප යොමුවිය යුතුය. එයටත් වඩා දේශපාලනයෙහි දී ආණ්‌ඩුවට බටහිරයන්ට හා බමුණන්ට මුහුණදීමට ඇති හැකියාව ඉහළින් අගය කළ යුතුය. ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව ආණ්‌ඩුව දෝෂාභියෝගයක්‌ ගෙන ආවේ බමුණන් මාර්තු මාසයේ ජිනීවා සමුළු ගැන බියක්‌ ඇති කරද්දීය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අර්ථනිරූපණය කිරීම ශේ්‍රෂ්ඨාධිකරණයට භාර යෑයි කියමින් විනිසුරුවන් තිදෙනකුට පාර්ලිමේන්තු බලතල තමන් අතට ගැනීමට ව්‍යාජ තීන්දු මගින් ඉඩදිය නොහැකිය. දෙමළ ජාතිවාදයේ ව්‍යාජ චිත්‍රපට තව තවත් ඉදිරියේ ද කරළියට එනු ඇත. එහෙත් අප මේ වැටීමට ඇති බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට යටවිය යුතු නොවේ. බටහිර දැනුමට බිය නොවී ඔවුන්ගේ තර්ජන ගර්ජන සම්බාධකවලට යටත් නොවී නිදහස වර්ධනය කරමු.

No comments:

Post a Comment